පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා
ගැමි සුන්දරත්වය උපමා කර ගනිමින් රචිත
මෙම ගීතය රසිකයාට නවමු රසයක් ගෙනදෙයි. ගැමි සංස්කෘතිය හා අන්‍ය සංස්කෘතින් තුළින්
ගැමි සංස්කෘතියට සිදුවී ඇති බලපෑම මෙම ගීතයෙන් ඉස්මතු වෙයි. කවියා ගීතය රචනා
කිරීමෙදි භාවිතා කර ඇති “ඇන්න ගිහින්” “පරදෙස” “හැන්දෑකරේ” ආදී වචන ද ගැමි කම
විදහා දක්වයි. ගීතයේ අර්ථය විමසා බලමු.
“පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ හැන්දෑකරේ දොර
කන්ද කපා සඳ ගෙට එන්නා “
පින්න මල දැකුම්කළු මලකි. එය ආලෝකමත්ය.
මෙහි දී කියැවෙන තරුණියගේ මුහුණද ප්‍රියකරුය. ඇයගේ හද තුළ වූ ප්‍රේමයේ ආලෝකය මුහුණෙන්
විද්‍යාමාන වේ. ඇය පින්න මලේ පියකරු බව සොරා ගෙනවත් දෝ’යි සිතේ. තවද ඇයගේ මුහුණ සදකට උවම් කරයි. සවස දොර අසල සිටින ඇයව පෙනේනේ
ගෙට ගොඩවන්නාවූ සඳක් ලෙසටය.
මෙහි දී කවියා
භාවිතා කරන පින්න මලේ උපමාව කාව්‍ය සාහිත්‍ය තුළ විරල වුවත් සඳෙහි උපමාව ගතානුගතික
ය. කාන්තාවන්ගේ මුහුණ සදකට උපමා කළ අවස්ථා කොතෙකුත් සාහිත්‍ය ඉතිහාසය තුළ දැකිය
හැකිය. ඒ හෙයින් මෙම උපමාව එතරම් චමත්කාර ජනක’යයි සිතිය හැක්කේ නොවේ. නමුත්
තරුණියගේ මුහුණ Rජුව සඳට උපමා
කර නොතිබීම හේතුවෙන් එම අඩුපාඩුව යම් තරමකට යටපත් වේ.
“දුන්න වගේ නැමී බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට
ගම්දොර වෙල් එළි පාළු වෙතේ”
පෙර කී යුවතිය
ගමින් පිට විවාහයකට සැරසෙයි. ඇය එසේ පිටගම් ගිය හොත් මේ මුළු ගම ම පාලුවට යාවි. ඇය
ගමින් පිට දීග යෑම පිළිබඳ ස්වභාව සෞන්දර්යය පවා කැමැත්තක් නොදක්වයි. ස්වභාව සෞන්දර්යය
පවා ඇයගේ ඇසුර ප්‍රියකරයි.
කරල් පැසී නැමුණු කුරක්කන් හේන සුළගට සෙලවෙයි.
මෙය ස්වභාවික සිදුවීමකි. නමුත් කවියා එයට අලුත් අර්ථ කථනයක් සපයයි. ඒ අනුව
කුරක්කන් හේන, තරුණියට අත වනයි. මෙය උත්ප්‍රේක්ෂාලංකාරයකි.
පි.බි. අල්විස්
මහතාගේ ‘පුතා නිදි’ කවි පංතියෙන් උපුටා ගත් පහත කවිය ද උත්ප්‍රේක්ෂාලංකාරයට කදිම උදාහරණයකි.
මූ උඩ පැන්නොත් මෙසේ
නිදි බිදෙතැයි පුතු ඇසේ
බස්සා හිඳ අඹ ගසේ
ගෙම්බෙකු සඟවයි කුසේ
බස්සා ගෙම්බව
ගොදුරු කරගන්නේ සිය කුසගිනි නිවාගැනීමටය, නමුත් කවියා එයට අලුත් අර්ථ කථනයක්
ලබාදෙයි. ඒ අනුව බස්සා ගෙම්බව අල්ලාගන්නේ ගෙම්බගේ දැඟලීම නිසා පුතාගේ නින්දට
බාධාවෙයි යන බිය නිසාය. මෙසේ ස්වභාවිකව සිදුවීම් වලට අලුත් අර්ථ කථන ලබාදීම ම
උත්ප්‍රේක්ෂාලංකාරය යැයි සරලව හැදින්විය හැක.
අතීතයේ ගම්බද යුවතියන් එම ගමට
ආලෝකයක් සේ සැලකූහ. ඔවුහු ගම සුන්දර කළහ. ගම තුළ තරුණියන්ට ආරක්ෂාව හිමි වූයේ
නිතැතින්ම ය. හේන, කුඹුර, ළිංතොට, බැද්ද යන හැමතැනක්ම ඔවුන්ගේ ගැවසීමෙන් සුන්දර
විය. ඉතින් ඔවුන් ගම අතහැර ගියහොත් ගම පාළුවට යෑම අරුමයක් ද?
ධනපාල උඩවත්ත මහතා ගායනා කරන “ඈ නීල වරල පීරලා”
යන ගීතය තුළද මේ පිලිබඳ කියැවේ. විමසා
බලන්න.
“ඈ නීල වරල
පීරලා
ඈ යන ගමන හැඩවෙලා
ගම්මානේ මිහිරියාව,
ගමම එළිකලා”
ගැමි යුවතිය ගම්මානේ මිහිරියාවයි. ඇය
නිසා ගමම ආලෝකමත් විය.
‘’හැඩවැඩ ගමන ලලිත වේ
නුඹ මුළු ගමට මැණික වේ’’
“ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නේ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පරදේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ”
අලුත් අවුරුදු සමය ද ළඟ ළඟ ම පැමිණේ. තරුණයා තම හද බැදි
යුවතියට පවසන්නේ “පරගැති සිරිත්වලට ගැති නොවන ලෙසයි.”
මෙහි සදහන්, “වැට ඉන්න වගේ”
යන උපමාව උචිත නොවේ. එය හුදෙක් ශබ්දාර්ථය
පිණිස යෙදූ අර්ථ සූන්‍ය වූ යෙදුමකි. එහි අර්ථය සොයන රසිකයා වෙහෙසට පත් වෙනවා මිස රසයක්
නොලබයි. පැරණි කාව්‍ය විචාරකයෝ මෙවැනි නිරර්ථක පද යෙදීම කාව්‍ය දෝෂයක් ලෙස සැලකූහ.
අලුත්
අවුරුද්ද යනු මහා සංස්කෘතික මංගල්‍යයකි. අපේ කම, අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය ලෝකයට කියා පාන කාලයකි. මෙවැනි සුවිශේෂී කාලයක් පැමිණෙද්දීත්
පරදේශ සිරිත් වැළද ගැනීම නුසුදුසු බව කවියා සඳහන් කරයි. මේ කියන පරදේශක්කාර සිරිත්
මොනවද?
ඇතැම්විට මේ පවසන්නේ ගමෙන්
පිට දීගෙක යෑම පිළිබඳව විය යුතුය. මන්ද යත්, අතීතයේ බොහෝ ගැමි යුවතියන් විවහා වූයේ ගමේ
ම තරුණයන් සමගය. ඔවූහු විවහා වීමේදී අධික වත්පොහොසත්කම් වලටත් උගත්කම් වලටත් වඩා සොයා
බැලුවේ ගුණයහපත්කම් ගැනය. තරුණයාට තම පවුල රැකගැනීමට තරම් පොහොසත්කමක් තිබීම ප්‍රමාණවත්
විය. එබඳු තරුණයන් එකල ගම්වලින් සොයා ගැනීම අපහසු නොවීය. නමුත් ගමේ තරුණයින් නොසලකා
පිට ගමකට දීග යෑම කවියා දකින්නේ පරදේශයකින් පැමිණි සිරිතක් ලෙසිනි.
වර්තමාන ව්‍යවහාරයේ පවා පවතින “ගමේ වරකා ගමේ කපුටන්ටය” “වත්තේ අඹ ගෙදර මයිනටය”
ආදී යෙදුම් බිහිවී ඇත්තේ මේ ආශ්‍රයෙන් දෝ’ යි විමසීම වටී.
ප්‍රේම ගීතයක් සේ පෙනුනත් ඊට එහා ගිය වැදගත් කරුණක් මෙම ගීතය තුළින් ඉස්මතු
වේ.
Comments
Post a Comment